නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස චක්ඛුමා විසමානීව විජ්ජමානෙ පරක්කමෙ පණ්ඩිතො ජීවලොකස්මිං පාපානි පරිවජ්ජයෙ - සොණවග්ග, උදානපාළි* සැදැහැවත් පින්වත්නි, සම්බෝධි ඥානය ලබාගත්තට පස්සේ අපේ බුදු පියාණන් වහන්සේ බුද්ධ ඇසින් ලෝකය දිහා බලා වදාරනකොට කොට ඒ බුදු ඇසට මේ ලෝකය පෙනුනේ හරියට නෙළුම් පොකුණක්, මානෙල් පොකුණක්, වගෙයි. නෙළුම් පොකුණක, මානෙල් පොකුණක, සමහර මල් පොහොට්ටු වතුරෙම ගිලිලා වතුර යට වැඩෙමින් තියෙනවා. තවත් සමහර පොහොට්ටු වතුර මට්ටම හා සමව උඩට යම්තම් මතුවීගෙන වගේ වතුර මට්ටම හා සමව වැඩිලා තියෙනවා. තවත් සමහර පොහොට්ටු වතුරෙනුත් උඩට මතුවෙලා ඉර පායනකන් බලාගෙන ඉන්නවා වගේ, බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ, උස්වෙලා සුදානම්ව තිබෙනවා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේට ඒ උපමාව අනුව වැටහුනා මේ ලෝකයේ සත්ත්වයාගේ විවිධ බුද්ධි මට්ටම්. සමහර අය ඒ සාංසාරික බුද්ධිය බොහොම අඩු අය, ලෝකයෙහිම, ඇලිල ගැලිල ජීවත් වෙනවා. පරලොවක් ගැන හිතන්නෙ නෑ. නිවනක් ගැන, සසරදුක් කෙළවර කරගැනීමක් ගැන හිතන්නෙ නෑ. තවත් සමහර මනුෂ්‍යයින් ඉන්නවා, තවත් සමහර කොටසක් සිටිනවා, යම්තමින් මේවා ගැන අවබෝධයක් ඇතිකර ගන්න පුළුවන් විදිහට පරලොව ගැන සසර දුක ගැන ඉඳලහිටලවත් කල්පනා කරන්න පුළුවන් ශක්තිය ඇති අය. තවත් සමහර අය ඉන්නවා සංසාරයේ බොහොම කාලයක් භාවනා වඩල සිත දියුණු කරගත්තු අය. ඒ අය අන්න අර වතුරෙන් ඉස්සිලා තිබෙන, ඉර පායනකන් බලාගෙන ඉන්න, මල් පොහොට්ටු වගේ. ඒවා ඒ බුදු පියාණන් වහන්සේ නමැති ඒ සූර්යයාගේ - බුද්ධ සූර්යයාගේ - ධර්ම රශ්මිය වැටෙනවාත් එක්කම පුබුදු වෙනවා. ඒවාගේ මනුෂ්‍යයින්, ඒ වාගේ දියුණු වූ චිත්ත සන්තානයක්, භාවිත සන්තානයක් ඇති මනුෂ්‍යයින් බුදු පියාණන් වහන්සේගේ ධර්ම රශ්මිය වැටෙනවාත් එක්කම නෙළුම් මලක් මානෙල් මලක් පුබුදු වෙන්නා වගේ පුබුදු වෙනවා. ඒ අයට දහම් ඇස පහළ වෙනවා. ඇස ඇරෙනවා. *මෙම දෙසුම උදාන පාළිය ඇසුරෙන් පවත්වන ලද නමුදු කථා පුවත යම් යම් වෙනස්කම් සහිතව ධම්මපදට්ඨ කථාවේ බාලවග වණ්ණනාවේද එයි. බුදු පියාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී එක දවසක් වීදියක් අසල මහ පිරිසකට බණ දේශනා කරමින් උන්නා. ඒ රජගහ නුවරම වාසය කළා සුප්පබුද්ධ කියලා ඉතාමත්ම දිළිඳු කුෂ්ට රෝගියෙක්. මේ මනුෂ්‍යයා එදා ආහාර සොයාගෙන යන ගමනේ මේ වීදියේ ඈතදීම දැක්කා මහ පිරිසක් එක් රැස්වෙලා ඉන්නවා. හිතුවා, “එකත් එකටම මෙතන නම් ආහාර ටිකක් බෙදන තැනක් වෙන්න ඕන. මාත් මේ පිරිස ළහට ගියොත් සමහරවිට කෑම ටිකක් සොයාගන්න පුළුවන් වෙයි” කියලා ඉක්මන් කරලා එතෙන්ට ආව. ළංවුනා. ඇවිල්ල බැලින්නං ඉන්න තේරුනා “මෙතන මේ කෑම බෙදන තැනක් නම් නෙවෙයි. ශ්‍රමණ භවත් ගෞතමයින් මෙතන මේ පිරිසකට ධර්මය දේශනා කරනවා. කමක් නෑ. මාත් බණ ටිකක්වත් අහන්න ඕන” කියල පැත්තකින් ඉඳගත්තා. අන්න ඒ අවස්ථාවේ ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ මුළුමහත් පිරිසගේම සිත තමන්ගේ බුද්ධ ඥානයෙන් පරීක්ෂාකරලා, විමසලා, මෙනෙහි කරලා බැලුවා. මේ මහා පිරිස අතරේ මා දේශනා කරන ගැඹුරු ධර්මය, නිර්වාණ ධර්මය, තේරුම්ගන්න පුළුවන් කාටද කියල, වැඩිය හොඳටම තේරුම් ගන්න පුළුවන් කාටද කියල. ඒ බුද්ධ ඥානයට, බුදු ඇසට පෙනුනා. අර පිරිස කෙළවර ඉඳගෙන ඉන්න අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා. මෙයාට තමයි, මොහුට තමයි, මා දේශනා කරන ධර්මය හොඳට ඉක්මනිතන්ම තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ කුෂ්ට රෝගියාම අරමුණු කරගෙන, හරියට ඔහුට දේශනා කරන බණක් වගේ ඒ බුද්ධ දේශනා විලාසය අනුව ක්‍රමානුකූලව අර අනුපිළිවෙල කථාවෙන් ඒ ධම් දේශනාව ආරම්භ කළා. අනුපිළිවෙල කථාව කියල කියන්නේ, පින්වත්නි, බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට - දැන් මේ අවස්ථාවේ මේ පින්වතුන් නම් සීලයක් එහෙම සමාදන්වෙලා ඉඳගත්තා - එහෙම අය නොවෙයි නොයෙකුත් තරාතිරමේ පුද්ගලයින් එනවා. ඒ අයගේ සිත සකස් කිරීමට, ගැඹුරු ධර්මයක් තේරුම් ගැනීමට ඕන කරන ආකාරයට සිත සකස් කිරීමට, එක්තරා දේශනා ක්‍රමයක්, දේශනා මාර්ගයක් බුදුපියාණන් වහන්සේ යොදා ගන්නවා. ඒකට “දාන කථා, සීල කථා, සග්ග කථා, කාමානං ආදීනවං ඕකාරං සංකිලෙසං, නෙක්කම්මේ ච ආනිසංසං පකාසේසි” කියල කියනවා. මෙය විදිහට දක්වනවා. ‘දාන කථා’ කියල කියන්නේ දන් දීම හොඳ ප්‍රතිපත්තියක්ය කියල, දන්දීම බොහොම ආනිසංස සම්පන්න ප්‍රතිපත්තියක්ය කියලා. දානයේ ආනිසංස, දානයට ප්‍රශංසා කිරීම් වශයෙන් දන්දීම පිළිබඳව පළමුවෙන් දේශනා කරනවා. ඊළඟට ‘සීල කථා’ කියල කියන්නේ ඒ දානයෙන් කරන වස්තු පරිත්‍යාගය වගේම කය වචනය හික්මවා ගැනීමෙන් කරන පරිත්‍යාගයත් බොහොම ආනිසංස සම්පන්නයි කියලා ශීලය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට දන්දීම් සිල් සමාදන්වීම් ආදිය නිසා එහි ආනිසංස වශයෙන් දෙව්ලොව උපත ලැබිය හැකි බවත් එහෙම උපත ලැබූ අය පිළිබඳ ප්‍රවෘත්තිත් ‘සගග කථා’ කියන කොටසේ ඊළඟට ප්‍රකාශ කරනවා. ඒ විදිහට අර අසන කෙනාගේ සිත දිව්‍යලෝකයේ සැප සම්පත් පිළිබඳව යෙදිල තිබෙන අවස්ථාවේ, සතුටුවෙල තිබෙන අවස්ථාවේ, අන්න ඊළඟට බුදුපියාණන් වහන්සේ ඒ මනුෂ්‍ය ලෝකයේ වගේම දෙව් ලොවෙත් විඳින පස්කම් සැපතෙහි - පංචකාම සම්පත්තියෙහි - ඇති ආදීනව, ඒවායේ ඇති අනිෂ්ට පැත්ත, නරක පැත්ත, පෙන්නුම් කරනවා. - “ආදීනවං. ඕකාරං” - ඒවා බොහොම ලාමක දේවල්. පංචකාම සම්පත්තිය කියන එක තිරිසනුන්වත් පොදු එක්තරා පහත් විදිහේ, උසස් හැටියට සැලකිය නොහැකි විදිහේ, දෙයක් කියලා, ඒ විදිහට ප්‍රකාශ කරනවා. - ඕකාරං. ඊළඟට ‘සංකිලෙසං’ - ඒ පංචකාම සම්පත්තිය නිසා බොහොම දෙනෙක් නොමගට ගිහිල්ලා කෙලෙස් උපදවාගන්නා ආකාරයත්. ඔය විදිහට ‘ආදීනවං ඕකාරං සංකිලෙසං’. එහෙම ඒවා ගැන හිත යොමුඋනාට පස්සේ, ඔන්න ඊළඟට බුදුපියාණන් වහන්සේ ඒ වෙනුවට ප්‍රකාශ කරනවා ‘නෙක්කම්මේ ච ආනිසංස.’ ගිහිගෙන් නික්මීම - පැවිදිවීම - මේක ඉතාම වටින ශ්‍රේෂ්ට ප්‍රතිපත්තියි. මේක සසරින් නික්මීම - නිවන් දැකීම - සඳහා උපකාරවන ප්‍රතිපත්තියක් කියල පංචකාම සම්පත්තියෙන් වෙන්වීම ගිහිගෙයින් නික්මීම කියන ඒ උසස් ගුණධම් පිළිබඳව ඊළඟට වර්ණනා කරනවා, ප්‍රශංසා කරනවා. ඔන්න ඔය විදිහට දැන් බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේත් ඔය අනුපිළිවෙල කථාව කරගෙන යන අතරේ, අර නෙක්ඛම්මය - ගිහිගෙන් නික්මීම - පිළිබඳව එහෙමත් ප්‍රකාශ කරන අතරේ, ඔන්න බුදු පියාණන්වහන්සේ නිතරම බලාගෙන ඉන්නේ මේ සුප්පබුද්ධගේ හිත වැඩ කරන ආකාරයයි. ඔන්න බුදුපියාණන් වහන්සේට තේරුනා දැන් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියගේ සිත ගැඹුරු ධර්මයක් අහන්න තරම් සකස්වෙලයි - “කලල චිත්තං, මුදුචිත්තං” මෘදු වෙලයි, ‘විනීවරණ චිත්තං’ නීවරණධර්ම කියලා කියන සමාධියට බාධකවන කාමසිතිවිලි ද්වේශ සිතිවිලි, නිදිමත අලසගති නොසන්සුන් ගති සැක කුකුස් දෙගිඩියා ආදිය ඒවා ඉවත්වෙල සිත දැන් බොහොම - “උදග්ග චිත්තං පසන්න චිත්තං” කියන ආකාරයට - සිත දැන් බොහොම ප්‍රසන්න වෙලා පැහැදිලා ඊළඟට කියන එක බලාපොරොත්තුවෙන් වගේ සිටින අවස්ථාවකය දැන් සුප්පබුද්ධ ඉන්නේ කියල බුදුපියාණන් වහන්සේට වැටහුනා. අන්න ඒ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ අර බුදුවරයන් වහන්සේලා විසින්ම ලෝකයාට හඳුන්වා දෙන චතුරාර්ය සත්‍ය ධර්මය කියන ඒ ගැඹුරු දේශනාව දේශනා කළා, දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග, කියල කියන, මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියල අපි මේ අල්ලගෙන ඉන්න මේ ගොඩවල් පහම, මේ මුලුමහත් සංසාර පැවැත්මම, දුකක්ය, මේකට හේතුව තණ්හාවය, මේ තණ්හාව කියන පිපාසය - මේ දැවිල්ල - මේක සංසිඳුවාගන්න අවස්ථාව තමයි මේ නිවීම. නිවීම තමයි උතුම්ම සැපත. මේකට ඇති මාර්ගය ආර්ය අෂ්ටාංශික මාර්ගයයි. සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියල කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංශික මාර්ගයයි කියල බුදු පියාණන් වහන්සේ එහෙම චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාළා. අන්න ඒ අවස්ථාවේදී - ’ ඒ උපමාව දෙනව - හරියට අර හොඳට හෝදලා පිරිසිදු කරපු වස්ත්‍රයකට හොඳට සායම් අල්ලන්නා වගේ අර සුප්පබුද්ධගේ සකස් උනු හිතට මේ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳින් වැටහිලා ඒ සිටිය ආසනයේදීම - “විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි” කියල කියනවා - නිකෙල්ශී නිර්මල ධම් වක්ෂුසය කියල කියන දහම් ඇස පහළ උනයි කියන්නේ - සෝවාන් මාර්ගඥානයෙන් සෝවාන් එලය ප්‍රත්‍යක්ෂ කරගත්තා. එතකොට අන්න ඒ තත්ත්වය ලබාගත්තා. නමුත් මේ ලබාගත්කු බව වෙන කවුරුවත් දන්නෙ නෑ. බුදු පියාණන් වහන්සේ පමණයි දන්නෙ. ඒ අවස්ථාවේ එතකොට අන්න ඒ කුෂ්ට රෝගියාගේ විශාල වෙනසක්, ඇතුළත පරිවර්තනයක් සිද්ද වෙලා තියෙනවා. කොයිතරම්ද කියතොත්, මේ සුප්පබුද්ධ නිවන දුටුවා. ප්‍රථම මාර්ගඥානයෙන් නිවන දුටුවා. නිවීම දුටුවා ‘දිට්ඨ ධම්මො’. ‘පත්ත ධම්මො’ නිවනට පැමිණියා. ඒ වගේම මේවා පිළිබඳ, ධර්මය පිළිබඳ, සැක කුකුස් ඉවත්වෙලා, නිර්වාණ මාර්ගය පිළිබඳ සැක කුකුස් ඉවත්වෙලා, ඒ ප්‍රතිපදාවට වැටුනා. ඒ වගේම විශාරද ස්වභාවයට - මේ ශාසනයේ විශාරද බවට - පත්වුනා. ඒ ප්‍රථම මාර්ගඥානය ලෝකෝත්තර තත්ත්වයක්. එහෙම ලබාගෙන ඊළඟට ඒ ධර්මදේශනාව අවසන් උනහම මේ කුෂ්ට රෝගියා බුදුපියාණන් වහන්සේ ළහට ඇවිල්ල බුදුපියාණන් වහන්සේට ප්‍රශංසා වශයෙන් ප්‍රකාශ කරනවා “ඉතාමත්ම විශිෂ්ටයි ස්වාමීනි, විශිෂ්ටයි ස්වාමීනි, හරියට - ඊළඟට උපමාවක් දෙනවා - ’යම් සේ ස්වාමීනි යම්කිසි කෙනෙක් යටිකුරු කරල තිබුනු දෙයක් උඩුකුරු කර දක්වන්නේද වසල තිබුණු දෙයක් කඩවැසුම් ඉවත්කරල විවෘත කරල දක්වන්නේද, මංමුළාවූ කෙනෙකුට මාර්ගය ප්‍රකාශ කරන්නේ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වා කියල අඳුරෙහි තෙල් පන්දමක්, තෙල් පහනක් දල්වන්නේ, අල්වගෙන සිටින්නේ, යම්සේද අන්න ඒ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙකුත් විදිහට මට මේ ධර්මය දේශනා කළා. මම භාග්‍යවතුන් වහන්සේගේ සරණ යනවා ධර්මයේ සරණ යනවා. සංඝයාගේ සරණ යනවා. අද සිට දිවිහිමිකොට භාග්‍යවතුන් වහන්සේගේ උපාසකයෙක් හැටියට මා දරාගන්නාසේක්වා” කියල ඒ විදිහට ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරල එතනින් නික්මිල ගියා. වැඩිදුර යන්න කලින්, වැඩි ඈතට යන්න කලින්, කුඩා වසුපැටියෙක් සිටින සැඬ එළදෙනක් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියාට ඇනලා මරුමුවට පත්කළා. මරණයට පත්කළා. සංඝයා වහන්සේලා මේ සිද්ධිය දැකලා බුදු පියාණන් වහන්සේ ළහට ඇවිල්ලා ප්‍රකාශ කරනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අර දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවකින් උත්සාහවත් කරපු ඒ කුෂ්ට රෝගියා. අන්න මැරිලා සිටිනවා. මේ තැනැත්තා කොහෙද උපන්නේ” කියල. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශකරනවා “මහණෙනි මේ සුප්පබුද්ධ පණ්ඩිතයෙක්. සුප්පබුද්ධ පණ්ඩිතයෙක්. මා ප්‍රකාශ කළ ධර්මය අනුව පිළිපැදලා ඒ සසර බැඳි දහයෙන් තුනක්ම කඩල දලා - සතර අපායට නොයන්නාවූ ඒ වගේම මේ සසර තවත් ජාති 7ක්, උත්පත්ති 7ක්, පමණක් ලබන්නාවූ ඒ උතුම් සෝවාන් තත්ත්වයට - අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් සෝවාන් තත්ත්වයට - පත්වුනා” කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශකළා. එහෙම පත්වෙලා දැන් මේ අවස්ථාවේ, මේ කථාකරන අවස්ථාවේ, ඒ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා තව්තිසා දෙව්ලොව ඉපදිලා ඒ අනිකුත් දෙවියන්ට වඩා පරිවාර සම්පත්තියෙන් ශරීර වර්ණයෙන් බැබලෙනවා. මොකද, මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා මේ ශාසනයේ සද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා කියල කියන ඒ ගුණධම් ඇතිකරගත්තා. මේ ශාසනයට ළං වෙලා. අර එක බණක් අහලාම ඒ බණ තුළින් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා සද්ධාව, සීලය, සුත කියල කියන ධර්මඥානය, චාග කියල කියන පරිත්‍යාග ගුණය, ප්‍රඥාව කියල කියන ඒ නිර්වාණය අවබෝධ කරන ශක්තිය, වැටහීම් ශක්තිය, මෙන්න මේ විදිහෙ ගුණධම් පහක්ම සුප්පබුද්ධ ලබාගත්තා කියල සංඝයා වහන්සේලාට ප්‍රකාශකළා. එතකොට ඒවට තමයි ‘ආර්ය ධන’ කියල කියන්නේ. මේ ශාසනයේ ආර්යයන් වහන්සේලාට අයිති ධන පහක් සද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා කියන්නේ. ඔන්න ඔය විදිහට එහෙම ප්‍රකාශ කළා. එතකොට ඒ සංඝයාවහන්සේලා අතරින් එක සංඝයා වහන්සේ නමක් අහනවා, “භාග්‍යවතුන් වහන්ස එහෙම තත්ත්වයක් ලබාගත්ත මේ සුප්පබුද්ධ ඇයි කුෂ්ට රෝගියෙක් උනේ? ඇයි දිළින්දෙක් උනේ?” කියල. ඒ වගේ වාසනාවන්ත කෙනෙක් ඇයි මෙහෙම ආත්මෙක උත්පත්තිය ලැබුවේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔන්න ඒ අතීත කථාව. “මහණෙනි මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අතීතයේදී, බොහොම ඈත අතීතයේදී, මේ රජගහ නුවරම සිටු පුත්‍රයෙක්ව සිටියා. මේ සිටුපුත්‍රයා දවසක් උයනට යන අතරේ, නගරෙන් පිටත්වෙලා උයනට යන අතරේ, සඛී කියල කියන පසේ බුදුරජාණන් වහන්සේ නගරයට ඇතුල්වෙනවා පිණ්ඩපාතය සඳහා. මේ පසේ බුදුරජාණන්වහන්සේ ඇදල හිටිය සිවුරු එහෙම දැකල මේ මානයෙන් මත්වුනු සිටුවරයා එක්තරා පිළිකුල් හැඟීමක් ඇතිකර ගත්තා. -” කවුද මේ කුෂ්ට රෝගියා. කුෂ්ට රෝගීන්ගේ වස්ත්‍රයක් පෙරවගෙන ඉන්නේ.” කියල ඒ විදිහට අපහාස විදිහට හිතලා ඒ පැත්තට කෙළ ගහලා ඊළඟට වම් උරහිස හරවාගෙන - කෙනෙකුට වම් උරහිස හරවල යනවා කියන එක අතීතයේ නිගරු වෙන දෙයක්, මොකද ‘පැදකුණු කරනවා’ කියලා කියන්නේ, ‘ප්‍රදක්ෂිණා කරනවා’ කියන්නේ දකුණු පැත්තට හැරිලා වටේට යාම - අන්න ඒ විදිහට නිගරුවෙන වචන කියල, කෙළ ගහල, උයනට නික්ම ගියා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සුළු වෙලාව තුළ ඒ සිටුපුත්‍රයා කරගත්තු අකුශලයේ විපාකය. ධර්මයේ සඳහන් වන්නේ විපාක වශයෙන්. ‘බහුනි වස්සානි, බහුනි වස්සසතානි, බහුනි වස්ස සහස්සානි - බහුනි වස්ස සත සහස්සානි නිරයේ පච්චිත්‍වා’ කියල ඒ කරපු පාප කර්මය නිසා, ඒ සුළු වෙලාවක කරගත්තු පාපකර්මය නිසා, සුප්පබුද්ධ සිටුවරයා, බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ සිය දහස් ගණනක් නිරයේ පැසුනාය. එහෙම පැසිලා, එහෙම බරපතල දුක්විඳලා, ඒ විපාකයේ අවශේෂ වශයෙන් - ඉතිරි කොටස හැටියට, - මේ නගරයේම කුෂ්ට රෝගියෙක් හැටියට, - දිළින්දෙක් හැටියට උත්පත්තිය ලැබුවා කියල ඒ පාපකර්මයේ ඇති භයානක විපාක පක්ෂය ප්‍රකාශ කරලා, අපි අර කලින් ප්‍රකාශ කළ මාතෘකා හැටියට තබාගත්තු ඒ ගාථා ධම්ය වදාළා. චක්ඛුමා විසමානීව විජ්ජමානෙ පරක්කමෙ පණ්ඩිතො ජීවලොකස්මිං පාපානි පරිවජ්ජයෙ - කියල ‘චක්ඛුමා’ කියල කියන්නේ ඇස් ඇත්තා. ඇස් ඇත්තෙක් ‘විසමානි’ කියල කියන්නේ වල ගොඩැලි තැන් - කටු ලැහැබ් ඇති, කටුසහිත වලගොඩැලි තුන් ආදියට විසම කියල කියනවා. එතකොට ඇස් ඇත්තෙක් පොළොවේ විසම තැන් මගහැරලා යන්න වගේ “චක්ඛුමා විසමානීව - විස්මානෙ පරක්කමෙ” ඒ විෂම තැන්, පොළොවේ වලගොඩැලි තැන්, මගහැරලා යාමට තරම් ශක්තිය පරාක්‍රමය ඇති කල්හි, ඒකට පුළුවන්කම තිබෙද්දි, ඇස් ඇති පුද්ගලයෙක් තමන්ට පුළුවන්කම තිබෙනවා නම්, ඇස් පේනවා නම්, ශක්තිය තිබෙනවා නම්, ඒ වලගොඩැලි තැන් කටු ලැහැබ් මගහැරලයි යන්නේ. අන්න ඒකයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට මේ උපමාව දක්වලා “පණ්ඩිතො ජීව ලෝකස්මිං - පාපානි පරිවජ්ජයේ” අන්න ඒ වගේම පණ්ඩිතයා - නියම පණ්ඩිතයා, නියම ඥානවන්තයා, - මොකද්ද කරන්නේ, මේ ජීව ලෝකයෙහි, මේ මනුෂ්‍ය ලෝකයෙහි, ඒ පාපකම් කියන ජාතිය දුරින්ම දුරලන්නේය කියල ඒ විදිහට උපදේශාත්මක ගාථාවක් ඒ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ වදාළා. එතකොට අපි මේ ගාථාවෙනුත්, ඒ වගේම මේ කථාන්තරයෙනුත්, අපේ ජීවිතයට ගතහැකි පාඩම් ගැන කල්පනා කරල බලමු. දැන් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා පිළිබද මේ වර්ත්මාන කථාවෙනුත් - ඒකෙන්මත් අපට හුඟක් ආදර්ශ ගන්න පුළුවන්. දැන් අර ඒ සුප්පබුද්ධ බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කරන තැනට පැමිණියේ ආහාර සොයායන ගමනේ පිරිසක් දැකලා එතෙන්ට කිට්ටුවුනා. මෙතන සමහරවිට කන්න දෙයක් ලබාගන්න පුළුවන් කියල. ළහට කිට්ටු උනාට පස්සේ මෙතන බණ කියන තැනක් කියල දැක්කාම, දැන් ඔය මේ කාලේ භෞතික දෘෂ්ටිය ගත්තු සමහර අය කියන්තා වගේ ‘බණ කන්නටද?’ කියල නිග්‍රහකරල හැරුනේ නෑ. ඒ වෙනුවට මොකද කළේ ‘මමත් බණ ටිකක් අහන්ට ඕන’ කියල ඉදගත්තා. එතකොට එතන ඒ අවස්ථාවේ ඒ තැනැත්තගේ හිතේ ඇති උනේ මොකක්ද කියල අපිට හිතාගන්න පුළුවන්. පරිත්‍යාගය. අතහැරීම. දැන් මේ පින්වතුනුත් ඔය දන්දීම් පිංඩපාතෙ බෙදීම් ආදිය කරනවා. ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පරිත්‍යාගයයි. අතහැරීමයි. එතකොට දැන් මේ අවස්ථාවේත් අර ආහාර හොයාගෙන යන්න තිබුනා ආපසු හැරිලා. ඒ වෙනුවට ආහාර නැතිවට කමක් නෑ, මම බණ ටිකක්වත් අහන්ට ඕන කියල ඉඳගත්තා. අන්න ඒ පරිත්‍යාගයේ ආනිසංස කොයිතරම්ද කියතොත් අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් වූ ඒ සෝවාන්ඵලය ලබා ගන්න පුළුවන් උනා. මරණින් මතු දිව්‍යලෝක උත්පත්තියක් ලබාගන්න පුළුවන් උනා. මේ සෝවාන්ඵලය කියල කියන්නේ එතකොට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියල කියන ඒ නිර්වාණ මාර්ගයේ පළමුවෙනි පියවරයි. ඒ තත්ත්වය ලබාගත්තා, සසරදුක් ජීවිත හතකට පමණක් ඉතිරි කරල ඔක්කොම නැතිකරගත්තා. සතර අපායට තවත් යන්නෙ නෑ. අන්න ඒ විදිහේ උතුම් තත්ත්වයක් ලබාගත්තා. ඒ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා. අර විදිහේ හිත පිළිබඳව කරන ලද පරිත්‍යාගයෙන්. ඊළඟට අපි කල්පනා කරල බලමු මේ බුදුපියාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය ගැන. බුදුපියාණන් වහන්සේ නිතරම පිරිසේ සිත සකස්වුනු, ඒ සාංසාරික බුද්ධිය දියුණු කරගත්තු, කෙනා අරමුණු කරගෙනයි ධර්මය දේශනා කරන්නේ. දැන් මෙතනින් අපට පේනවා පිරිසක් කෙළවරක සිටිය පමණින් බුදුපියාණන් වහන්සේ ඒ තැනැත්තා ‘කොන්’ කරන්නෙ නෑ. රජවරුන්, රජ කුමාරවරුන්, සිටුවරුන්, මහා ධනවතුන්, කුලවතුන්, උගතුන්, පණ්ඩිතයින් - ලෝක පණ්ඩිතයින් - සිටින්න පුළුවන් මහ පිරිසේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ අයට නෙවෙයි ධර්මය දේශනා කරන්නේ. අර සාංසාරික බුද්ධි මට්ටමින් දියුණු තැනැත්තාටයි. එතකොට මේ ගැන අපට කල්පනා කරනකොට බොහොම ගැඹුරු අවබෝධයක් ලබාගන්න පුළුවන්. දැන් සමාජය සාමාන්‍යයෙන් ලෝකය දිහා බලන ඇසින් නොවෙයි බුදු පියාණන් වහන්සේ බලන්නේ. අපි අර පියුම් පොකුණක, මානෙල් පොකුණක තත්ත්වය ගැන කිව්වා වගේ දැන් මෙතන හිතනවනම් සමහර මල්පොහොට්ටු තියෙන්ට පුළුවන් කොළ අස්සේ සැඟවිලා. අන්න ඒ වගේ සමහර පුද්ගලයින් සිටින්න පුළුවන් මෙලොව යම්කිසි බරපතල පාපකර්මයක් නිසා දුගීව, දිළිඳුව කුෂ්ට රෝගීව තවත් නොයෙකුත් ආපදා සහිතව උත්පත්තිය ලැබුවා. නමුත් ඒ තැනැත්තා තුළ නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන් ශක්තියක් තියෙන්නට පුළුවන්. අතීත සංසාරයේ භාවනා වඩල තියෙන්නට පුළුවන්. මේක කෙනෙකුට බොහොම ලොකු ධෛර්යයක් මේ ධර්මයට හැරෙන්නට. එතකොට කිසිම කෙනෙක් ‘කොන්’ කරන්න බෑ. සමහරවිට මේ පිරිසෙම උනත් ඉන්න පුළුවන් ඒ විදිහෙ දුරී දිළිඳු තත්ත්වයේ, “අපට නම් මේ ධර්ම මාර්ගයේ යන්ට බෑ. බණ අහල මේවා කරන්ට බෑ” කියල හිතන අය. නමුත් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියාගේ කථාවෙන් ආදර්ශයක් ගන්ට පුළුවන්. ඔන්න සමහර විට ඒ තමන් එහෙම හිතුවට මොකද අර විදිහෙ අර - බුද්ධ සූර්යයාගේ රශ්මිය - ධර්ම රශ්මිය වැටෙනවත් එක්ක පිපෙන නෙළුම්මල් වගේ අය වෙන්නත් පුළුවන්. ඔන්න ඔය ගැන එතකොට අපිට ඒ තුළිනුත් වටිනා ආදර්ශයක් ගන්න පුළුවන්. ඊළඟට බුදු පියාණන්වහන්සේ ධර්මය දේශනා කරහම ඒ සුප්පබුද්ධ දහම් ඇස පහළ කරගත්තු ආකාරය - එතන සඳහන් වෙන්නේ “යං කිඤ්චි සමුදය ධම්මං - සබ්බං තං නිරෝධ ධම්මං” කියල. අන්න ඒ ගැඹුරු ධර්මය - සමහර විට පොතපතින් ඔය පටිච්ච සමුප්පාදය එහෙම ඉගෙන ගත්තා බොහොම දෙනෙක් උත්සාහවත් වෙනවා. පටිච්ච සමුප්පාදය කියල කියන්නේ ගැඹුරු ධම්යක්. ඒ ගැඹුරු ධම්යේ මූලික න්‍යායයි මෙතන මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අර එක බණක් අහල තේරුම්ගත්තේ. එහි අදහස මොකක්ද? “යම්කිසි දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේවීද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයද ඇත්තේය” කියන එකයි. ඒ කියන්නේ අනිත්‍යතාව හොඳට අවබෝධ කරගත්තා. ලෝකයේ හැම දෙයක්ම ඇතිවෙන නැතිවෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක. මෙතන හැම දෙයක්ම කියල කියන්නේ මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියල කියන මේ අපි අල්ලගෙන ඉන්න ගොඩවල් පහයි. මේ රූප ගොඩක්. මේ මෙතන ‘රූපස්කන්ධය’ කියල කියන්නේ රූප ගොඩක්. අපි මේ එක රූපයක් කියල ගන්නවා. ඝන සංඥාවෙන් එකක් හැටියට ගන්නවා. ‘මමය’ ‘මාගේය’ කියල බැඳගැනීම නිසා ලෝකයා රූපය ‘මගේ රූපයයි’ කියල මේක හැඩවැඩ කරගන්න උත්සාහ කරනවා. වේදනාවක් ආවම ‘මගේ වේදනාවයි’ සංඥාව කියල කියන්නේ හැඳීනීම. මේ ‘මා හඳුනාගන්නා දෙයයි’ කියල එහෙම හිතාගන්නවා. සංස්කාර, චේතනා, බලාපොරොත්තු ආදිය ඒවත් එකක් හැටියටයි බොහෝවිට සළකන්නේ. ඊළඟට විඤ්ඤාණය. ‘මගේ සිත’ කියල කිව්වහම එක සිතක් කියල හිතනවා. මෙන්න මේවා රාශියක්. ඇත්ත වශයෙන්ම ඒ ඝන සංඥාවෙන් ලෝකයා එකක් හැටියට ගත්තට මොකද, මේ එක එකක් තුළම තිබෙනවා මහා රාශියක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ එක තැනක අර උපමා දක්වල තිබෙන්නේ - බොහොම ගැඹුරු උපමාවල්. හිතන්න හිතන්න ඒ එකකින්ම පුළුවන් නිවන් දකින්න කියල. මේ රූපස්කන්ධය, මේ රූපය කියල කියන එක, පඨවි ආපෝ තේජෝ වායෝ කියල කියන මේ ලෝකේ හැම දෙයක්ම සකස්වෙල තියෙන ධාතුවලින් සකස්වෙච්ච දෙයක්. ඊළඟට මේක උපමා කරනවා බුදු පියාණන් වහන්සේ හරියට පෙණ පිඬකට. ඔය දොලපාරක් ගලාගෙන යනකොට කොටයක් එහෙම හිරවෙලා තියෙනවා නම් එතන ටික ටික එකතු වෙලා පෙණ හැදෙනවා. මේ පෙණ පිඬ කියන එක, ඒක දිහා බැලුවහම පෙනෙනවා හැම මොහොතකම වෙනස් වෙනවා. ඇතිවෙනවා. නැතිවෙනවා. ඇතිවෙනවා නැතිවෙනවා. ඒ වගේම මේ ශරීර කුඩුවත් හැදිලා තිබෙන්නේ කිරිපෙණ වලින්, බත්පෙණ වලින්, කැඳපෙණ වලින්. මේ විදිහට දවස මුල්ලෙලේම ආහාර ගත්තහම ආහාරය පැසවල මේවායින් තමයි මේ ශරීර කුඩුව හැදෙන්නේ. - අපි මේ ශරීරය කියල කියන එක. ඔන්න ඔය විදිහට පෙණ පිඬ කියන එක ගැඹුරින් කල්පනා කරල බලන්න පුළුවන්. ඒවගේම වේදනාව - ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ වේදනාව හරියට දිය බුබුලක් වගේ කියලා. දැන් තදට වහින වෙලාවේ ඔය වහලෙන් එහෙම වතුර වැක්කෙරෙනකොට දිය බුබුල් හැදිලා එක මොහොතකින්, ඒ ක්ෂණයෙන්ම, ඒව නැතිවෙලා යනවා. වැඩිවෙලා තියෙන්නෙ නෑ. බොහොම සුළු වෙලාවයි. වැස්ස වැටෙන කොට අර පොඩි පොඩියට ලස්සන දියබුබුලක් හැදෙනවා. ඒක එවෙලෙම වහාම බිඳිල යනවා. අන්න ඔය වගෙයි වේදනාව කියන එකත්. අපි මේ එකක් කියල ගත්කට ඒකත් පුපුරු ගහන්න වගේ - ඒකත් රාශියක් කියන එකයි. ඒ අවබෝධයයි. ඊළඟට සංඥාව කියල කියන්නේ හැඳිනීම. හැඳිනීම බුදුපියාණන් වහන්සේ උපමා කරනවා මිරිඟුවකට. මිරිඟුව කියන එක මේ පින්වතුන් දන්නවා දැන් ඔය පායන කාලේ පාරක, එහෙම නැත්නම් තැනිතලාවක එහෙම දකින්ට ලැබෙනවා ඈත වතුර ගලන්නා වගේ. ඒ වාෂ්ප වගේ උඩට ග්‍රීෂ්මය නිසා යම්කිසි සසල වෙන, වංචල වෙන දෙයක් පේනවා ඈතට. ඒකට මිරිඟුව කියල කියන්නේ, මුවන් රැවටෙනවා ඒකට වතුරෙයි කියල. එහෙම හිතාගෙන, ඒ වතුර තියෙනවා කියලා හිතාගෙන දුවනවා. දුවන්න දුවන්න ඒ මිරිඟුව ඈත්වෙනවා. අන්න එහෙම දෙයක් කියල බුදු පියාණන් වහන්සේ හඳුන්වනවා මේ සංඥාව, හැඳීනීම. අපි අන්න අහවලා හැඳිනගත්තා. අරයම තමයි වෙන කෙනෙක් නොවෙයි කියල අපි කියනවා. ඊළඟට ඈත තියෙන දෙයක්, මෙතෙන්ට පේන්ට පුළුවන් යම්කිසි කන්දක එහෙම හොඳ දර්ශනයක්. බොහොම ලස්සනයි කියල ඕනනම් අපි ඒකෙ ජායාරූපෙකුත් අරගෙන ඊළඟට තව ඒ දර්ශනය බලන්ට අපි හිතමු එතෙන්ට ගියා කියල. එතෙන්ට ගියාට පස්සේ ඒ දර්ශනය නෑ. ආපසු හැරිල බලනකොට සමහරවිට මේ පැත්තෙයි ඒ හොඳ ලස්සන දර්ශනය තියෙන්නේ. ඔන්න ඔය විදියෙ මෙතන සංඥාව කියන එකත් තට්ටු තට්ටු. බැලුවහම මෙතනත් ගන්න දෙයක් නෑ. ඊළඟට සංස්කාර කියල කියන අපේ මේ චේතනාවල් බලාපොරොත්තු සිතිවිලි කියන මේ හැම එකක්ම - මේවාත් හරියට බුදුපියාණන් වහන්සේ දක්වා වදලා උපමාවකින් - කෙසෙල් කඳක් වගේ. අරටුවක් නෑ. සාරයක් නෑ. හරයක් නෑ. කෙසෙල් කඳක වගේ පතුරු ගොඩක් මෙතන තියෙන්න. පතුරු ගොඩක් බව පේන්නේ නෑ. අන්න ඒ විදියට සංස්කාර කියල කියනවා. අපි මේ ඇතිකරගන්නා චේතනා බලාපොරොත්තු ආදියත් ඒ විදියයි. ඊළඟට විඤ්ඤාණය කියල, ‘මගේ හිතෙයි’ කියල, අපි මේ කියන සිත. මේකත් එකක් නොවෙයි. ඉතාම ශීඝ්‍රයෙන් ඇතිව නැතිවෙන දෙයක්. ඒ වගේම මේවායින් පෙන්නුම් කරන දේ. මේ හිතට නොයෙකුත් දේවල් - දේවල් හැටියට එකකින් අනෙක වෙන්කරල දක්වනවා. නමුත් මේ එකත්, අනිකත්, මේ දෙකම ඇතිව නැතිවන ස්වභාවයෙන් යුක්තයි. මේක මේ මවාපෑම් ගොඩක් විතරයි. ඒක බුදුපියාණන් වහන්සේ උපමා කරන්නේ මායාකාරයෙක් විජ්ජා කාරයෙක් ඇස් බැන්දුම්වලින් පෙන්නුම්කරන දෙයකට. නැති දෙයක් ඇති හැටියට මවා පෙන්වනවා. අන්න එහෙම මේ අපේ සිතට යම්යම් දේවල් මවා පෙන්වනවා කියලා, මවා පෙන්වන ස්වභාවයක් තියෙනවා කියලා. ලෝකයාට මේක කිව්ව හැටියේ එකපාරට වැටහෙන්නේ නෑ. වටහාගන්න කැමතිත් නෑ. නමුත් සංසාරයේ දීර්ඝ කාලයක් අනිත්‍ය දුඃඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔස්සේ ගැඹුරින් කල්පනා කරපු කෙනාට මේවා ගැන හිතනකොට වඩවඩා ගැඹුරට තේරෙනවා. ඒ විනිවිද දැකීමයි ප්‍රඥාව කියල කියන්නේ, ලෝකයේ තත්වය - එතකොට මෙන්න මෙතන මේ කියන්නේ අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා බුදුපියාණන් වහන්සේගේ ඒ දේශනාව තුළින් තේරුම්ගත්තා පටිච්ච සමුප්පාදය කියල කියන හේතුප්‍රත්‍යයන්ගෙන් මේ ලෝකයේ මේ හැම දෙයක්ම ඇතිවෙන බව. ‘යම්කිසි දෙයක ඇතිවන ස්වභාවය ඇත්තම් ඒ හැම දෙයකම නැතිවන ස්වභාවයද ඇත්තේය’, කියන කාරණය. අන්න එතකොට ඒකට උපකාරවන දෙය තමයි මේ පංචස්කන්ධය - මේ පංචඋපාදානස්කන්ධය කියල කියන මේ අල්ලගෙන සිටින ගොඩවල් පහ. ‘මමය’ ‘මාගේය’ කියල අල්ලගෙන ඉන්නේ එක්කො රූපය, එක්කො වේදනාව, එක්කො සංඥාව, එක්කො සංස්කාර කියන ටික, එහෙම නැත්නම් විඤ්ඤාණය. මේ එක එකක් පාසා ‘මමය’, ‘මමය’ කියල ලේබලයක් දාගෙන ඉන්නවා. මේකේ තත්ත්වය - යථාතත්ත්වය - තේරුම්ගත්තු අවස්ථාවේ තමයි, පින්වත්නි, අර ලෝකෝත්තර මාර්ගඥානයෙන් උතුම් සෝවාන් එලය ආදිය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක නිසා මේවා ගැන මේ කථාන්තරය තුළින් අපට හිතාගන්න පුළුවන් අපි අපිත් සංසාරයේ භාවනා වඩල ඇති යම්කිසි ප්‍රමාණයක්. මේවා මතුකරගන්න උත්සාහවත් වෙන්න ඕන, මේවා හැංගිලා තියෙන්න පුළුවන් කියල. එතකොට ඒ විදියට ඒ වර්තමාන කථාවෙන් අපට හුඟක් කාරණ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අර ධන පහ ගැන හිතල බලනකොට - සද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා කියන ඒවා ඒක දේශනාවක් තුළින්ම - දැන් මේ ධර්මයක් අසන කොට කෙනෙක් ඒක තුළින් ශ්‍රද්ධාව ඇතිකර ගන්නවා. කුඥුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගන්නවා. ඊළඟට ශීලයෙහි ආනිසංස ප්‍රකාශ කරනකොට ශීලය. ඒක බුදුපියාණන් වහන්සේ එතන දක්වන්නේ සමාදන් කරනවා වගේ. ඒ ඇත්තවශයෙන්ම බුද්ධකාලේදී බුදු පියාණන් වහන්සේ අනුපිළිවෙල කථාවෙන් ධර්මය දේශනාකරන කොට හිතෙන්ම සමාදන්උනා. අමුතුවෙන්ම මේ සිල් ඉල්ලල සමාදන්වීමක් නැතත් “මේක කොයිතරම් හොඳ ප්‍රතිපත්තියක්ද අද ඉඳල මම මේ ප්‍රතිපත්තිය රකිනවා” කියලා හිතෙන්ම සමාදන් වෙනවා. ඒකයි. ශ්‍රද්ධාව ඇතිකර ගන්නවා. ශීලය ඇතිකර ගන්නවා. ඊළඟට ‘සුත’ කියල කියන්නේ මේ ධර්මය හොඳට දරාගන්නවා, හොඳට හිතේ දරාගන්නවා. ඊළඟට ධම්ය තේරුම් ගන්නකොට අවබෝධ වෙනවා නියම වශයෙන්ම කලයුත්තේ මේ හැම දෙයක්ම අතහැරීමයි කියන එක - පරිත්‍යාගයයි. ඒ පරිත්‍යාගය තුළින් තමයි ප්‍රඥාව කියල කියන අවබෝධය එන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ දැනුම කියන එක නම් ගොඩගහගන්න එකක්. එකතුකර ගත්තා එකක්. එකතුකරගෙන තව නොයෙකුත් තනතුරු උපාධි ආදිය ලබා ගැනීමයි ලෝකයේ දැනුම කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්වත්නි ප්‍රඥාව කියන එක දක්වන්නේ විනිවිද දැකීමේ ශක්තියක් හැටියට, වැටහීමේ ශක්තියක් හැටියට. ලෝකයේ වැහිල තිබෙන දේ විවෘතවෙලා පේන, එහෙම නැත්තම් ඒ හැංගිලා තිබෙන දේ හොඳට තමන්ගේ ඇසට පේන විදියට දහම් ඇසක් මතුකර ගැනීමයි. ප්‍රඥා ඇසක් මතුකර ගැනීමයි. ඔය විදියේ ගුණ ධර්මවල ආනිසංස පක්ෂයත් අපට හිතාගන්න පුළුවන්. ඒ හොඳ පැත්ත. ඊළඟට කල්පනාකරල බලනකොට අර බුදුපියාණන් වහන්සේ විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ කළ අතීත ප්‍රවෘත්තිය ගැන - ගාථාවටත් බොහෝදුරට සම්බන්ධයි. - මේ හැම කෙනෙකුටම විශාල බයක් ඇතිකර ගන්න පුළුවන්. සංසාරයේ - මේ ජීවිතයේ - අපි නොදැනුවත්ව කොයිතරම් බරපතල අකුසල් කරගන්න පුළුවන්ද කියලා. දැන් පින්වත්නි අර සුප්පබුද්ධ අතීතයේ සිටු පුත්‍රයෙක් වෙලා, අර සුළු මොහොතක සිත දූෂ්‍ය කරගෙන, හිත කිලිටි කරගෙන, කෙළ ටිකක් ගහල නිගරු කළේ කාටද? අර කිලිටි සිවුරක් ඇදගෙන ආවට මොකද වනාත්තරවල ඒ කාලේ, බුද්ධවරුන් පහළ වෙන්න කලින්, පසේ බුද්ධවරු කියල උතුම් කොටසක් ඇති වෙනවා. ඒ අය ස්වෝත්සාහයෙන්ම එක්තරා බුද්ධ තත්ත්වයක් ලබාගන්නවා. අනිත් අය නිවන් දක්වන්න බැ. නමුත් ‘පච්චේකබුද්ධ’ කියල කියනවා - පසේබුදු. බුදු, පසේබුදු, රහත් - ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයින් තුන්දෙනා. එතකොට ලෝකයේ උතුම් වස්තුන්ට නිගරු කිරීම ඉතාම බරපතල විපාක ගෙනදෙන පාපකර්මයක්. ඒකට කියනවා ‘ආර්යෝපවාදී කර්මය’ කියල. ආර්යන් වහන්සේලාට කරන ලද නිග්‍රහය. බුදු පසේබුදු රහත් සෝවාන් ආදී මාර්ගඵල ලැබූ අයට ඒ විදියට නිගරු කිරීම, බැණීම, ඒවා දක්වනවා ආර්යෝපවාදී කර්ම කියල. බරපතල පාපකර්මයක්. ඒක නිසා තමයි අර බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ සිය දහස් ගණනක් නිරයේ පැසුනේ. අන්න ඒ විදියට ඒ ගැන කල්පනා කරල බලනකොට මෙන්න මේවා තමයි ලෝකයේ විෂමතැන්, වල - ගොඩැලි තැන්. මේවායින් පරිස්සම් වෙන්න ඕන, ඇස තිබෙනවා නම් - ඇස කියල කියන්නේ මෙතන - සම්‍යක් දෘෂ්ටියි. හරි දැක්මයි. කෙනෙකුට හරි දැක්ම තිබීමේ වටිනාකම එයින් පෙනෙනවා. සාමාන්‍ය ලෝකයා අන්ධයි. “අන්ධභූතො අයං ලෝකො - තනුකෙත්ථ විපස්සති” කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල කිබෙනවා. මේ මුළු මහත් ලෝකයම අන්ධයි. බොහොම ටික දෙනාටයි විදර්ශනා වශයෙන් වැටහෙන්නේ කියල බුදු පියාණන් වහන්සේ දක්වල තියෙනවා. ඒක නිසා ලෝකයා මේ ඇස තියෙනවා කියල හිතනවා. මේ පෙනෙන මසැස වැඩිකරගන්න කන්නාඩි ගන්නවා. නමුත් පින්වත්නි ලෝකයා අන්ධයි කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා. එතකොට අන්ධකම දුරුකර ගන්න නම් - එක්තරා ප්‍රමාණයකට අන්ධකම දුරුවෙනවා හොඳ නරක වටහා ගත්තහම. කලු - සුදු වටහා ගත්තහම. පිං පව් අවබෝධ කරගත්තහම - ධම්ය අහල. ඊළඟට ඊටත් වඩා ගැඹුරු දේ තමයි දැන් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා කළේ. අර පටිච්ච සමුප්පාද ධම්යේ ඒ උතුම් මූලික න්‍යායය අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන, ප්‍රඥා ඇස - දහම් ඇස - පහළ කර ගත්තා. ඒකට කියනවා ධම් චක්ෂුසය කියල. දහම් ඇස කියල කියනවා, - සෝවාන් මාර්ගඥානය, - ඒ ඇස පහළකර ගත්තහම සතර අපායෙම දොර වැහෙනවා. ඒක රීට වඩා විශාල ලාභයක්. හිතාගන්න බැරිතරම් විශාල ලාභයක්. එතකොට සාමාන්‍ය ලෝකයේ මේ විෂම තැන්වලින් පරිස්සම්වෙන්න ඕන - මේ වළගොඩැලි වලින්. ගමන් බිමන් වලදී නම් මේවායේ වැටිල තුවාල වන එක සුළු දෙයක්. නමුත් මේ සංසාරයේ මේ විදියට හිත දූෂ්‍ය කරගෙන, වචනය නරක් කරගෙන, ක්‍රියාව නරක් කරගෙන වැටුනොත්, ඒකට බරපතල විපාක කල්ප ගණන් විඳින්ට සිද්ධවෙනවා. අන්න ඒක තමයි මෙතන අපට මේ අතීත කථාවෙන් ගතහැකි පාඩම. . ඒ වගේම මාන්නය කියන එක බොහොම දෙනෙක් ඇතිකර ගන්නවා තමන්ගේ ධනය ගැන, නිලය ගැන, බලය ගැන. මේවා ගැන මාන්නයක් ඇතිකරගෙන ලෝකය දිහා බලනවා. දැන් මේ පිරිසත් අතරට අපි හිතමු හිඟන්නෙක් ආවා කියල, අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා වගේ. සමහරවිට නාහේ වහගනියි කෙනෙක්, තවත් සමහර කෙනෙක් ඇස් නරක්‌ කරලා බලාවි, ඒ තැනැත්තා දිහා - යන්නෙයි කියලා කියන්න බැරිනම්. නමුත් දන්නෙ නැති වුනත් සමහරවිට මේ තැනැත්තා තුළ තිබෙන්න පුළුවන් නිවන් අවබෝධ කරන ශක්තිය. අන්න ඒ විදියේ දෙයක්. එතකොට අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අතීත ජීවිතයේදී ඒ වැරද්ද කළා. නමුත් මේ ජීවිතයේදී ඒ වැරද්ද කළේ නෑ. ඒ වෙනුවට හරියට පාඩම ඉගෙනගත්තා වගේ අර අවස්ථාවේ බණට නිගරු කරන්නෙ නැතිව, ‘බණ කන්නටද?’ කියල කියන්නේ නැතුව එතනම ඉදගෙන බණ අහන්න පටන් ගත්තා. ඒ කරපු පරිත්‍යාගය කොයි විදියේ දෙයක්ද කියල අපි හිතල බලමු. දැන් මේ ගාථාවේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “චක්ඛුමා විසමානීව - විස්මානෙ පරක්කමෙ” කියල. ‘පරාක්‍රමය’ කියන එක තිබෙන කල්හි, - පරාක්‍රමය කියන එක - මේක, අහනකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක අර පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට වගේ අයට විතරක් තියෙන දෙයක් කියල. නමුත් පින්වත්නි බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ දුගී හෝ මගී හෝ දුප්පත් හෝ පොහොසත් හෝ උගත් හෝ නූගත් හෝ හැම කෙනෙකු තුළම තිබෙනවා ශක්ති තුනක්. ඒ ශක්ති තුන බුදු පියාණන්වහන්සේ දක්වන්නේ ‘ආරම්භ ධාතු’, ‘නික්ඛම ධාතු’ ‘පරක්කම ධාතු’ කියල. මෙතන ධාතු කියල කියන්නේ අර මුලධර්ම කියන එකයි. ‘ආරම්භ ධාතු’ කියල කියන්නේ පින්වත්නි, අපි හැම කෙනෙකුටම තිබෙනවා යම්කිසි දෙයක් අලුතින් ආරම්භ කරන්න ශක්තියක්. කුඩා දරුවෙකුට පවා තිබෙනවා. දැන් ඔය මවු පියන් එන්න කලින් ඔය කුඩා දරුවන් ඒව මේව හදන්නේ. ඒ ආරම්භක ශක්තිය. අලුත් දෙයක් නිපදවන්න පුළුවන්කම. ඒ විදියේ ආරම්භ ධාතුවක් තිබෙනවා. ඊළඟට ‘නික්කම ධාතු’ කියල කියන්නේ, එහෙම ආරම්භයක් කරල ඒක දිගටම කරගෙන යන ශක්තියකුත් අප තුල තිබෙනවා. ඊළඟට ‘පරක්කම ධාතු’ කියල කියන්නේ එහෙම කරගෙන යාමේදී ඉදිරිපත්වෙන බාධක, ආපදා, ඒවා මැඩලා, ඒව ජයගෙන, ඉදිරියට ජය ගැනීමේ ශක්තියයි. ඒකත් තියෙනවා මේ චිත්ත සන්තානයේ. මෙතන ‘විස්මානෙ පරක්කමෙ’ කියල කීවේ අන්න එහෙම පරාක්‍රමයකින් මේවා මඟහරින්න පුළුවන් කියන එකයි. මේවා අතහරින්න පුළුවන්. මගහරින්න පුළුවන්. එහෙම පුළුවන්කම තිබෙද්දි, ඇසුත් පේනවා නම්, ඇයි මේව කරන්නෙ කියන එකයි බුදු පියාණන් වහන්සේ අහන්නේ. එතකොට මේ අවස්ථාවේ අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා කළෙත් එක්තරා පරාක්‍රමයක්. ඒ කියන්නේ හිත ජයගත්තා. හිත කියනවා, “නෑ, කෑම ටිකක් සොයාගෙන යන්ට මේක අහල වැඩක් නෑ” කියල. එහෙම හිතෙන්නත් ඇති, සමහරවිට, ඒක කථාවේ කියවෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් දුගියෙකුට කුසගින්නක් තිබෙනවා නම් එහෙම හිතෙනවා. නමුත් මේ තැනැත්තා එතනම ඉඳගත්තා, ‘මං බණ ටිකක් අහන්ට ඕන’ කියල. ඒකත් ජයගැනීමක්. ඒ පරාක්‍රමය තුළින් තමයි මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අර උතුම් සෝවාන් තත්ත්වය ලබාගත්තේ. චක්‍රවර්ති රාජ්‍යයටත් වැඩිය ලොකු ජයග්‍රහණයක් කරගත්තේ. දැන් ‘පරාක්‍රම’ කියන වචනය ඇහෙනවාත් එක්කම අපිට නිතරම සිතෙන්නේ සටන - සංග්‍රාමය. මේ වචනය බුදු පියාණන් වහන්සේත් උපකාර කරගත්තා. බෞද්ධයාටත් තියෙනවා සංග්‍රාමයක්. ඒ සංඝයාවහන්සේලාට පමණක් නොවෙයි ගිහියාටත් සංග්‍රාමයක් තියෙනවා. ඒකට කියන්නේ මාර සංග්‍රාමය කියල. ඒ මාර සංග්‍රාමය සඳහා සටන් පාඨයකුත් තියෙනවා බුදු පියාණන් වහන්සේගෙ - මේ ශාසනයේ පමණක් නොවෙයි හැම බුද්ධවරුන්ගෙම ශාසනයේ. එක්තරා සටන් පාඨයක් තියෙනවා. බොහොම ලස්සන ගාථාවකින් - ආරභථ නික්කමථ - යුඤ්ජථ බුද්ධසාසනෙ ධුනාථ මච්චුනො සෙනං - නළාගාරංච කුඤ්ජරෝ - කියල සටන් පාඨයක් තිබෙනවා. ඒක අපි සිංහලට නැගුවොත් - අරඹවි, නික්මෙවි - යෙදෙවි බුදුසස්නෙහි නසවි මරසෙන් හැම - බටගේ බිඳින ඇතුසේ අන්න ඒ විදියේ සටන් පාඨයක් තිබෙනවා. එතකොට ලෝකයා සංග්‍රාමය ගැන, යුද්ධය ගැන හිතනකොට කල්පනා කරන්නේ අනිත් මනුෂ්‍යයින් පරාජය කරල, මරල එහෙම ජයගැනීමයි. ඒකයි පරාක්‍රමය, වික්‍රමය, වීරක්‍රියාව, එඩිතරකම, හැටියට ලෝකයා හිතන්නේ. නමුත් අපි එහෙම හිතුවත් බුදු පියාණන්වහන්සේ නම් එහෙම හිතුවේ නෑ වගෙයි පේන්නේ. මොකද බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා ධම්ම පදයේ - ’යො සහස්සං සහස්සෙන සංගාමෙ මානුසෙ ජිනෙ එකංච ජෙය්‍ය අත්තානං සවෙ සංගාම ජුත්තමො’ කියල. යම්කිසි බොහොම වීර වික්‍රමාන්විත යෝධයෙක් යුද්ධයකට ගිහිල්ලා දස ලක්ෂයක් දෙනා - මේ එක යෝධයා - නමුත් දශ ලක්ෂයක් සතුරන් ජයගන්නවා. ඒක කොයිතරම් වික්‍රමයක්ද කියල හිතල බලන්න. එක පුද්ගලයෙක් දශලක්ෂයක් සතුරන් ජයගන්නවා. ඒකට වැඩිය ලොකු දෙයක් බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා - එකංච ජෙය්‍ය අත්තානං - සවෙ සංගාම ජුත්තමො” නමුත් මේ එක ‘තමා’ කියලා හිතන මේ ‘තමාම’ දිනීම. තමා දිනීම - එකට කියනවා - ‘ආත්ම විජය’ කියල. ‘තමා දිනීම’ කියල කියන්නේ දාන - සීල - භාවනාවලින්, ශීල - සමාධි - ප්‍රඥා විදල, ඒ කියන ගුණධර්ම - ශාසනික ගුණධර්ම - දියුණු කරල, බණ භාවනා කරල, අන්න අර උතුම් සෝවාන් සකදාගාම් අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධ කරල උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමයි. මුළුමහත් සසරදුක, කෙලෙස් මරුත්, ජය ගැනීමයි. දැන් බුදුපියාණන් වහන්සේත් ඒ මාර සංග්‍රාමය කරල මරුසෙන් දිනුවා කියල ප්‍රකාශකරනවා. මේ මාර සේනාව මේ හිතේ සිටින්නෙ. හිතේ ඇතිවන මාර සේනාවක් මෙතන මේ අවසාන වශයෙන්, ගැඹුරු වශයෙන් දක්වල තියෙන්න. එතකොට මෙතන මේ ‘යුද්ධය’, ‘සංග්‍රාමය’, කියන සංකල්පය බුදු පියාණන් වහන්සේ උපකාර කර ගත්තා අර මනුෂ්‍යයා තුළ කියෙන පරාක්‍රම ශක්තිය - ආරම්භ ශක්තිය නික්ඛමන ශක්තිය පරාක්‍රම ශක්තිය - මතුකර දෙන්න. දැන් මේ පින්වතුන් යම්කිසි වික්‍රමයක් කරන්ට සුදානම් වෙනවා. ඒකට හොඳට ආමිපන්න, ඒකට ඕනකරන ඇදුම් පැළදුම් අවි ආයුධ සන්නද්ධ වෙලා සුදානම් වෙනවා. ඊළඟට සුදානම්වෙලා යනවා ඉදිරියට. ඉදිරියට යනකොට එනවා සතුරන්. ඒ සතුරන්ට සම්පූර්ණයෙන්ම පහරදීලා සතුරන් මැඩලා ජයගත්තවා. අන්න ඒ විදියේ එකක් තමයි පරාක්‍රමය. එතකොට ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු. මේ ශක්ති තුන මූලකරගෙනයි අපේ මේ එදිනෙදා ජීවිතයේ පවා එන ආපදාවලින් අපි ජය ගන්නේ. ඒක එහෙම නම්, එතකොට මේ බුදුපියාණන් වහන්සේ දක්වනව ඊට වඩා විශාල ජයග්‍රහණය - තමාදිනීම - ආත්ම විජය. අන්න ඒ ආත්ම විජය සංකල්පය අනුව කල්පනා කරන්න ඕන, මේ ලෝකයේ ගන්න හැම ජයක්ම අන්තිමට පරලොව වශයෙන් බලනකොට පරාජයක් වෙනවා. මේ ජයගත්තු සමහරු සමහරවිට ගිහිල්ලා උපදින්නේ කොතනද කියන එක අභිඥාලාභියෙක් , බුදු කෙනෙක්, එහෙම කිව්වොත් කොයිතරම් සංවේගයක් ඇතිවෙනවාද? අපි මේ වීරවික්‍රමාන්විත කියල හිතන අය සමහර විට මරණින් මතු ගිහින් උපදින තැන් බොහොම සංවේගජනකයි. මේක මේ ලෝක තත්ත්වයයි, සාංසාරික තත්ත්වයයි. නමුත් බුදුපියාණන්වහන්සේ මේවා පිළිබද සත්‍ය තත්ත්වය අපට දක්වා වදාළා, අපි අකමැති උනත්. අන්න එතකොට නුවණැති පුද්ගලයෙක් නම්, ඇස් පේනවා නම්, සම්‍යක් දෘෂ්ටිය කියල කියන හරිදැක්ම ඇත්නම්, බුද්ධ වචනයයි පිළිගන්ට ඕන. එතකොට අන්න ඒ විදියට මෙතන “ස ඉව සංගාම ජුත්තමො” - ‘සංගාමජී’ කියල කියන්නේ සංග්‍රාමය ජයගත් තැනැත්තා. ඒකට මාර්ගය තමයි මෙලොව වශයෙන් ඒ පාපකම් දුරලා, අකුසල් ඉවත් කරලා, නිතරම කුසලයට සිත නැඹුරුකරලා - සිතින් කයින් වචනයෙන් - සිත, කය, වචනය කියන තුන් දොර රැක ගැනීම. දැන් සතුරන්ගෙන් අපි ආරක්ෂාකර ගන්නවා අපේ තිබෙනවා නම් යම්කිසි බලකොටුවක්. සතුරන්ට ඇතුල්වෙන්න ඉඩනොදී රෑ දවල් තිස්සේ ඒක රැකගන්නවා. ඒ වගේ තමයි භාවනා යෝගියා-යෝගාවචරයා. එහෙම නැත්නම් මේ නිර්වාණය බලාපොරොත්තුවන තැනැත්තා. ඒ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම වඩමින් තමන්ගේ සිත කය වචනය කියන තුන්දොර රැකගන්නවා. ඊටත් වඩා ගැඹුරින් කල්පනා කරල බලනකොට දොරවල් හයක්ම තිබෙනවා. ඒකට කියනවා ඇස, කණ, නාසය, දිව, කය, සිත කියල. ඔය විදියට මෙන්න මේ දොරවල් රැකගැනීමෙන් ඒ බලකොටුව රැකගන්නවා. ඊළඟට හොඳ පැත්ත වඩනවා, ඒ වෙනුවට. ඒ ශීලය, සමාධි ගුණය. සමාධියෙන් හිත එක්තැන් කරගන්නවා. හිතේ විසිරුනු ස්වභාවය ඉවත්කරල ඊළඟට ප්‍රඥාව කියල කියන විනිවිද දැකීමේ ශක්තිය තමන්ගේ ජීවිත සන්තානයේ ඇතිකරගෙන ඒ ප්‍රඥාව තුළින් තමයි නිර්වාණාවබෝධය කරල සියලු සසරදුක් ජයගන්න පුළුවන් වන්තේ. අන්න එතකොට මෙන්න මේ පරාක්‍රම ශක්තිය මතුකරගන්න උත්සාහවත් වෙන්න ඕන, - මේ සඳහා කළයුතු මාර සංග්‍රාමයට. අපි ඉන්න තැනින්ම පටන්ගන්ට ඕන මේක. එදිනෙදා ජීවිතයේ මේවාට තොයෙකුත් බාධක තිබෙනවා. එදිනෙදා ජීවිතයේ - දැන් බොහෝ දෙනෙක් ජීවිතයෙම ඇලිල ගැලිල හරියට අර නෙළුම් පොහොට්ටු මානෙල් පොහොට්ටු වතුරේ ගැලිල තිබෙන්න වගේ ඒ වගේ ජීවිතත් ගෙවනවා. නමුත් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා තමන් ඒ බාහිර වශයෙන් සිටින සමාජ මට්ටමට අනුව කිසිම කෙනෙක් සිත දූෂිත කරගත යුතු නෑ. ආරම්භය කළා නම්, සමහරවිට තමන් ඒ බලාපොරොත්තු වනවාට වඩා ඉක්මනින් ඒ තත්ත්ව ලබාගන්නට පුළුවන්. අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අතෙන්ට එතකොට හිතන්නවත් නැතුව ඇති ඒ කරන උතුම් තත්ත්වයක් තමාට ලැබෙයි කියල. නමුත් ලබාගත්ත. අන්න ඒ විදියට. ඒකට උපකාරවෙන දේ තමයි “හැකි සංඥාව.” හැකි සංඥාව කියල කියන්නේ පින්වත්නි මට මේක කරන්ට පුළුවන් කියන අවබෝධය. දැන් අපි දන්නවා යම්කිසි දෙයක් එහාට පෙරලන්ට හරි, එහෙම නැත්තම් ඉවත්කරන්නට ඕන වෙනකොට, ඉස්සෙල්ලම ‘ඒක මට බැහැ’ කියල හිතුව හැටියේ එතනින්ම පරාදයි. අඩුගණනෙ උත්සාහයක්වත් කරන්න වටිනවා. එහෙම ‘මේක කරන්ට ඕන’ කියල උත්සාහය ඇතිකරගෙන ඊළඟට හිතාගන්නවා ‘මට මේක පුළුවන්’ කියල. ‘හැකි සංඥාව’ කියල කියනවා ඒකට. අන්න ඒ විදියට ‘හැකි සංඥාව’ ඉදිරිපත් කරගනයි මේ ධර්ම මාර්ගයේ යන්ට ඕනෙ. එහෙම යන්ට පුලුවන් බව බුදු පියාණන් වහන්සේ අපට සහතික කරල දක්වල තිබෙනවා. බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල අර තිත්ත කසායක් බොන්ට පෙරැත්ත කරන මෑණි කෙනෙක් වගේ සමහර විට සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා - සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරත් ඒක මුළුමහත් ලෝකයාටයි ප්‍රකාශ කරන්නේ. “මහණෙනි මේ අකුසල් කියන ජාතිය ඉවත්කරන්න, ප්‍රහාණය කරන්න, පුළුවන්. මේවායින් මිදෙන්න පුළුවන්. මේවා නැතිකරගන්න පුළුවන්. ඒ වගේ කුසල් වඩන්න පුළුවන්. මේ අකුසල් නැතිකරගන්න බැරිනම් මම නුඹලාට මේක කියන්නෙ නෑ. අකුසල් නැතිකර ගන්න පුළුවන් නිසයි මහණෙනි මම මේ කියන්නේ” කියල ඔය විදියට පෙරැත්ත කරමින් සමහර විට ප්‍රකාශ කරනවා. තවත් සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒ උත්සාහය වැඩීමට, “මහණෙනි කාරණා දෙකක් විතරක් අතහරින්න මම නුඹලාට අනාගාමී වෙනවා කියල සහතික වෙනවා. ලෝභයයි ද්වේෂයයි අතහරින්න” අන්න ඒ විදියට පෙරැත්ත කරන ස්වභාවය නිසා තමයි අපි අර සමහරවිට බුදු පියාණන් වහන්සේ ‘කියනවා’ වෙනුවට ‘බුදු මෑණි’ කියල කියනවා ‘අමා මෑණි’ කියල කියනවා. අන්න ඒ මහා කාරුණික ගුණය නිසයි. එතකොට ඒ බුදු පියාණන්වහන්සේගේ ධර්මය අනුව අපි කල්පනා කරන්ට ඕන අප අපේ ජීවිත ගැන. මේ කථාවක් ඇසීම තුළින් අපි මේ බලාපොරොත්තු වෙන්නේ - මේ ධර්මකථාව කියල කියන්නේ මේක ගොතාපු කථාවක්, නවකථාවක් කෙටිකථාවක්, නොවෙයි. සත්‍ය සිද්ධීන්. බුද්ධ කාලේ ඒ ඒ පුද්ගලයින් බුදු පියාණන් වහන්සේ හමුවෙලා ඒ උතුම් තත්ත්ව ලබා ගත්තු ආකාරය. මේවා අපට හොඳ ආදර්ශ, පාඩම්. මේවා තුළින් අප තුළත් තියෙන්න පුළුවන් මේ ශක්තිය, මේවා අපි මතුකරගන්න උත්සාහයක් යොදන්ට ඕන කියල ඒ අවබෝධය ඇතිකරගන්න ඕන. දැන් මේ අවස්ථාවෙත් මේ පින්වතුන් ආජීව අෂ්ටමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන්වුනා. මේ එක එක ශීල ප්‍රතිපත්තිය ගැන හිතල බලන්ට ඕන. මේවායින් කරන්නෙ මොකක්ද? මේ සිල් සමාදන්වීමෙන් කරන්නෙ මොකක්ද? මේක මේ ‘සමාදියාමි’ කියල මම මේ පරපණ නැසීමෙන් ඒ කියන්නේ සතුන් මැරීම් ආදියෙන් වෙන්වෙනවා කියල අධිෂ්ඨානයක් ඇතිකර ගන්නවා. ඒ අධිෂ්ඨානය රැක ගැනීමෙදිත් අන්න ඔය කියාපු අර ‘ආරම්භධාතු’ ‘නික්ඛමධාතු’ ‘පරක්කම ධාතු’ කියන ඒ තත්ත්ව ගැන තමන්ට අවබෝධයක් ලබාගන්ට පුළුවන්. මම අධිෂ්ඨාන කර ගත්තා සතුන් මරන්නෙ නෑ කියල. නමුත් යම්යම් හේතුන් නිසා - මොනයම් හේතුන් නිසා හෝ - එක්කො ආහාරය සඳහා, එක්කො විනෝදය සඳහා, තවත් නොයෙකුත් අයගේ පෙළඹවීම් නිසා, එක්කො වැඩියෙන් ධනය ලබා ගැනීමට, එක්කො වෛරය පිරිමසාගැනීමට, සතුන් මරන්ට හිත් දෙනවා. හිතක් එනවා. නමුත් අන්න ඒ හිත ආව හැටියේ ඊළඟට මේ ධර්ම මාර්ගයේ අර ‘ආරම්භධාතු නික්ඛමධාතු පරක්කම ධාතු’ කියල කියන ආකාරයට මේ ශීල ප්‍රතිපත්තිය මතක් කරගන්න ඕන. ඒක කරන්ට හොඳ නෑ. මේ විදියට විපාක තියෙනවා. මම මේ පංචශීලය සමාදන්වෙලයි, ආජීව අෂ්ටමක ශීලය සමාදන්වෙලයි ඉන්නේ. මේ ශීලයේ එක ප්‍රතිපත්තියක්. මමම මේක පිළිඅරගෙන පිළිපදිනවා කියල පොරොන්දු වෙල තිබෙනව කියල ඒක රැකගන්න අන්න උත්සාහයක් කරනවා. එහෙම උත්සාහයක් යොදල යම් අවස්ථාවක හිතේ ඒ ආසු සිතිවිල්ල එහෙම පිටින්ම පැත්තකට තල්ලු කරල දානවා. සමහර විට එහෙම පැත්තකට තල්ලු කරන්න අමාරුයි. ඇතැම විටෙක ඒකත් එක්ක සටන් කරන්නත් වෙනවා. “ඒ කිට්ටුවට - කමක් නෑ - මය විපාක තිබුනාට, අපි මේක කරමු” කියලත් ඒ හිත කියනවා. “ඒක මේ වේලාවේ නොකර බෑ. මේක ‘කාලීනයි’ ‘කාලෝචිතයි’. වේලාවේ හැටියට මේක කරන්ට ඕන” කියල ඔය විදියට හිත යටින් අර අකුසල් එනවා. අන්න ඒක තමයි, මාරයා පිටිපස්සේ ඉදගෙන කියනවා “කරන්න කරන්න” කියල. ඔතනදී තමයි ඕන කරන්නෙ ශ්‍රද්ධාව. තුරුණුවන් කෙරෙහි, අවල ශ්‍රද්ධාව, දැඩී ශ්‍රද්ධාව, ‘බුදු වචනය එසේමයි.’ ඒ විදියට කල්පනාකරල “නෑ මම මේක කඩන්නෙ” කියල අන්න ඒ විදියට දැඩිව කල්පනාකරල අකුසල් සිතිවිලි පලවාහැරිය නම්, අන්න ඒක තමයි පරාක්‍රමය. හොරකම පිළිබදවත් එහෙමයි. කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පරුෂවචනය, ඔය විදියට කියන මේ අකුසල්, ඒ අවසානයේ කියන මිච්ඡා ආජීවය කියල කියන වැරදි ජීවිකා ක්‍රම - ඒවත් මේ ජීවිකාව ගෙන යාම සඳහා බොහෝ දෙනාට නොකර බැරි වශයෙන් පේනවා. නමුත් ඒවා පිළිබඳවත් උත්සාහයක් යොදල බලන්ට ඕන බැරිද කියල. මේ අවි ආයුධ වෙළදාම, වසවිස වෙළදාම, මත්පැන් වෙළදාම, සතුන් මසට ඇතිකිරීම, මාංස වෙළදාම - ඔය විදියට - ඒ විදියේ දේවල් පිළිබදව, ඒවා ගැනත් කල්පනා කරන්ට ඕන අපට මේවා ජයගන්නට බැරිද කියල. මොකද, මේවායේ භයානක විපාක පක්ෂයක් තිබෙනවා. බුදු ශාසනයේ හිටිය ඒ මහා මුගලන් ස්වාමීන් වහන්සේ. මුගලන් ස්වාමීන්වහන්සේට විශේෂ ශක්තියක් තිබුනා - ඒ තමන්ගේ අභිඥාබලය. ඒ වගේම ඒ උතුම් පාරමී ශක්තිය නිසා දිව්‍යලෝකෙ ගිහිල්ලා දේවියන්ගෙන් එහෙම ඒ තත්ත්ව ලැබීමට උපකාරවුනු පින අහගන්නවා. ඊළඟට අපායට ගිහිල්ලා අපායේ සත්ත්වයින් ඒ දුක් විඳීමට හේතුව අහගන්නවා - මොන මොන පාපකර්ම කරලද කියල. අන්න ඒ මගින් ලෝකයාට ප්‍රකාශකරනවා මේවයි මේ භයානක විපාක. මෙන්න මේක නිසා මේවා කරන්ට එපා කියල. මේ සංසාරයේ දීර්ඝ කාලයක් මේවාට ගෙවන්න වෙනවා නම් එක ජීවිතයකදී අපි මේ හපන්කම් කරල වැඩක් නෑ. අන්න ඒක නිසා සංසාරයෙන් මිදීමට විශේෂ උත්සාහයක් ඇතිකර ගන්නට ඕන. මේ හිතේ තිබෙන භයානක තත්ත්වය - මේක කොයි වෙලාවෙ පාපයට නැඹුරු වෙනවද කියල නෑ. ඒක නිසා මේ සිත ‘හේ කර ගන්න’ තමයි භාවනාව කියල දෙයක් ඕන වෙන්නෙ. මේ හිතේ පෙළඹීම්, මේ හිත කියන දේවල් දිම්, මේවා නැතිකර ගන්ට ක්‍රමානුකූලව යම්කිසි භාවනාවක් වඩන්න ඕන. සිත තැන්පත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් අර බුදුපියාණන්වහන්සේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියගේ හිත තැන්පත්වෙල ප්‍රසන්න උනාම තමයි අර ගැඹුරු ධර්මය ප්‍රකාශ කළේ. ඒ විදියට කෙනෙක් හිත සමාධිමත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එදිනෙදා ජීවිතයේ ‘බුද්ධානුස්සති’ - බුදුගුණ නිතර මෙනෙහි කිරීම වශයෙන්, - මෛත්‍රී භාවනාව, තව, අසුභ භාවනාව, මරණ සතිය ආදිය - මේ පින්වතුන් දන්නවා, ඔය සතර කමටහන් කියල තිබෙන. එහෙම යම්කිසි දෙයක් නිතර පුරුදු පුහුණු කිරීමෙන් අර ලෝකයට දුවන හිත මේ ගැඹුරු කුසල් සිතිවිල්ලක් තුළ රඳවා ගෙන, සිත එකඟ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ වගේම ඒ එකඟකරගත්තු හිතේ ලොකු ශක්තියක් තිබෙනවා. මේ ගලාගෙන යන වතුර යම්කිසි ජලාශයක රැස්කරල මේකෙන් යම්කිසි නලමගින්, එහෙම නැත්තම් කඳුයටින් අරගෙන ගිහිල්ලා උමගකින්, එක නලයක් තුළින් මේ වතුර ටික ගෙනිච්චහම, මේක එළියට ගන්නෙ මොකටද අර යකඩ රෝදයක් කරකවන්නයි. යකඩ රෝදයක් කරකවන්න තරම් ශක්තියක් තිබෙනවා මේ ගලාගෙන යන වතුරේ. නමුත් මේක ඇතිකර ගන්න යම්කිසි විශේෂ උපක්‍රමයක් තිබෙනවා. අන්න ඒ වගේ මේ සිතෙත්, මේ විසිරිල තිබෙන සිත, මේක සමාධිමත් කරගන්න ඕන. සමාධිමත් කරගෙන ඊළඟට ඒ සමාධිවුනු සිතෙන් ලෝකයේ යථා තත්ත්වය දිහා බලන්න උත්සාහවත් වෙන්න ඕන. අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා මේ පංචස්කන්ධය ගැන කලකිරෙන්න උපකාර කරගන්න ඇති අර පාපකර්මයේ විපාක. දැන් හොඳ රූප සම්පන්න ශක්තිමත් කෙනෙක් නම්, තමන්ගේ ශරීරය ගැන ආඩම්බර වෙන කෙනෙක් නම්, ඒ තැනැත්තාට අවබෝධ කරන්නත් අමාරුයි මේ රූපය කියන එක දුකක්ය මේක ලෙඩ ගොඩක්ය කියල. බුදු පියාණන් වහන්සේ මේ ශරීර කුඩුවට කියන්නේ ‘රෝග නිද්ධං, පහඨගරං’. බිඳිල යන්න පුළුවන් රෝග කුඩුවක් කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තවත් සමහරවිට ධම්යේ ප්‍රකාශ වෙනවා ‘නවද්වාරෝ මහාවණෝ’ නව දොරක් ඇති මහා වණයක්ය කියල. මේව අහනකොට සමහරුන්ට තරහ යන්නත් පුළුවන්. ඇයි බුදු පියාණන්වහන්සේ මේකට නිග්‍රහ කළේ කියල. ඒ විදියට තරහ ගත්තු අය ගැන රූප නන්දාවගේ කථාවේ එහෙම ප්‍රකාශ වෙනවා. නමුත් අන්න ඒ බුදුපියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති තැනැත්තා කල්පනා කරනවා මේක සත්‍යයි. ඉතිං ඒක තේරුම්ගන්ට පුළුවන් අර විදියේ කායික දුබලතාව ඇති කෙනාට. මේක අමුතුවෙන් කෙනෙක් කියන්න ඕන නෑ. හැම කෙනෙක්ම මේ ශරීරයට පිළිකුල් කරනවා. කුෂ්ට රෝගියෙක් නම්. අන්න එතකොට ඒ තත්ත්වයට පත්වුනාම එතන්දි ඒ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා ‘වෙස්වලාගත්ත ආශීර්වාදය’ වගේ, ඒ පාපකම්යේ විපාකයෙන් වැඩගත්තා. අන්න ඒ විදියට අපි කල්පනා කරන්ට ඕන මේ නිවන්මාඟීයේ ගමන් කරන්න මේ රට කිරෙන් පැනියෙන් උතුරලා හොඳට සරු ජීවිත ලබාගෙන ධනවත්වෙලා ඊට පස්සේ නිවන් දකින එක නෙවෙයි හිතන්න තිබෙන්නෙ. අපේ යම් අඩුපාඩුකම් තිබෙනවා නම් - ධනයෙන් හෝ ශරීරයෙන් හෝ රෝගාපීඩා ආදියෙන් හෝ - ඒකම උපකාරී කරගන්න ඕන, අර කියාපු ආරම්භ ධාතු නික්ඛම ධාතු පරක්කම ධාතු කියන ශක්තිය මතුකර ගන්න. මක් නිසාද? බොහෝවිට අපි මේ විපාකයෙන්මයි පාඩම ඉගෙන ගන්නේ. පාඩම ඉගෙනගත්තහම තමයි - ගුරුවරයා තැළුවට පස්සේ තමයි - මේ ’ ගණන ’ හරියට හැදෙන්නේ. අන්න ඒ වගේ මේ මාරයාගෙන් කොතෙකුත් අපි පීඩා විඳල තිබුනත් අතිදීර්ඝ සංසාරයේ, මේවායින් පාඩම ඉගෙන ගත්තෙ නෑ. බුදු පියාණන් වහන්සේ ඒ පාඩම ඉගෙන ගන්න ආකාරය අපට දක්වල තිබෙනවා. අන්න ඒක නිසා මේ පින්වතුන් දැන් සතුටු වෙන්න ඕන මෙතෙක් අපි මේ බුදුපියාණන් වහන්සේගේ දේශිත ධර්මය උපකාර කරගෙන අපේ ජීවිතය හැඩ ගස්සවා ගැනීමටයි කාලය යෙදුවේ. මේ අවස්ථාවේ ආජීව අෂ්ටමක ශීලය කියන වටිනා ශීලයක් අධිෂ්ඨාන කරගත්තා. ඒ වගේම ධම්ශ්‍රවණ අවස්ථාවේදී අපි අර යම්කිසි දවසක නිවනට උපකාර වෙන ඉන්ද්‍රිය පහක්, බලපහක්, වර්ධනය කර ගැනීමට උත්සාහවත් උනා කියල හිතන්නට ඕන. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහක් මතුකරගෙන කමයි කෙනෙක් නිවන දකින්නේ. ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියයක්. ‘ඉන්ද්‍රිය’ කියල කියන්නේ අධිපති තත්ත්වයක්. තමන්ගේ චිත්ත සන්තානයේ අධිපති තත්ත්වයක්. මේකට ඔටුනු පළන්දන්න ඕන - සද්ධාවට. ඊළඟට වීර්යය මතුකර ගන්නට ඕන - විරිය. වීර්යය ඉන්ද්‍රියයක් බවට පත්කර ගන්නට ඕන. ඊළඟට සතිය, - සිහිය, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව - මෙන්න මේ කියාපු ඉන්ද්‍රිය ධම් දියුණුකර ගැනීමට, ඇතිකර ගැනීමට, උපකාර වෙනවා. ඒ ඉන්ද්‍රියයන් ඇතිකර ගත්තා නම් ඒ තැනැත්තාට ඒවම ‘බල’ වෙනවා. සද්ධා, බල විරිය-බල, සති-බල, සමාධි-බල, ප්‍රඥා - බල. අන්න ඒවා ඇතිකර ගැනීමට උපනිශ්‍රය වෙන විදිහෙ ධම් ශ්‍රවණයක මේ අවස්ථාවෙ යෙදුනා. කල්පනා කරන්නට ඕන කුසල් සිතිවිලි රාශියක් මොහොතක් පාසා අපේ චිත්ත සන්තානයේ තැන්පත් උනා. ඒවයින් තව නොයෙකුත් සාංසාරික වශයෙන් ආනිසංස රාශියක් ගලාගෙන එනවා. ඒක ගැන අමුතුවෙන් කියන්නට ඕන නෑ. නමුත් ඒ හැම එකකටම වඩා අපි කල්පනා කරන්නට ඕන මේ සංසාරයේ ඇති දුකඛ ස්වභාවය බුදු පියාණන් වහන්සේ කොතෙකුත් අවස්ථාවල ප්‍රකාශකරල කිබෙනවා. ඒක නිසා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මේ ලබාගන්න හැම කුසල සම්පත්තියක්ම අපි යොදන්න ඕන - මේවා ‘ආයෝජනය’ කරන්නට ඕන - නිර්වාණය සඳහා - නිර්වාණ ශාන්තිය සදහා, මේ සසර දුක් කෙළවර කරගැනීම සදහා. එහෙම කල්පනා කරගෙන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, සීල සමාදානයෙන්, මේ රැස්කරගත්තු කුසල සම්භාරය උපකාර කරගෙන මේ ජීවිතයේදී හැකිනම් අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා වගේ සෝවාන් ආදී ඒ මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවනින් සියලු ජාති ජරා ව්‍යාධි මරණාදී සංසාර දුකඛය කෙළවර කරගැනීමට අපට ශක්තිය බලය ලැබිවා කියල ප්‍රාර්ථනා කරගන්ට .ඒ වගේම යම්කිසි ශාසනාරක්ෂක දෙවි දේවතාවුන්, ඒ වගේම මේ පූජනීය ස්ථානයට අධිගෘහිත දෙවි දේවතාවුන් සිටිනවා නම් පින් බලාපොරොත්තු වන, නිවන් බලාපොරොත්තු වන, ඒ හැම කෙනෙක්ම මේ අප විසින් ධම්දේශනාමය ධම් ශ්‍රවණමය වශයෙන් රැස්කරගත්තු කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියල ප්‍රාර්ථනා කරන්ට ඕන. ඒ වගේම තම තමන් නමින් නැසී මිය පරලොව ගිය ඥාතීන් පමණක් නොවෙයි අවීචියේ පටන් අකනිටාව දක්වා යම්තාක් පින්කැමති නිවන් කැමති සත්ත්වයෝ වෙත්ද ඒ හැම කෙනෙක්ම අපගේ මේ කුසල සම්භාරය අනුමෝදන් වී ජාති ජරා ව්‍යාධි මරණාදී සියලු සාංසාරික දුකින් අත්මිදී අජරාමර සංඛ්‍යාත උතුම් අමාමහ නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා කියල ප්‍රාර්ථනා කරගෙන මේ විදියට මේ ගාථා කියල පින් දෙන්න. “එත්තාවතා ච අම්හේහි………..”